Mar
19
මැක්ඩොනල්ඩ්ස් යනු ඇමරිකාවේ ඇති ප්‍රමුඛ පෙලේ ක්‍ෂණික ආහාර වෙලඳ සැල් ජාලයකි. දැන් තත්වය කෙසේදැයි මා හරියටම නොදන්නා නමුත්, මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ ආරම්භ කළ මුල් කාලයේ එය සල්ලිය බාගේ යහමින් තියන අය නිතර යන එන තැනක් බවට පත් වුන බව මට මතකය. මැක්ඩොනල්ඩ්ස් පමණක් නොව, KFC හා පීසා හට්හි ද තත්වය මෙලෙසම විය. පසු කාලීනව ඒ අවන්හල් තම මෙනු දේශීයකරණය කරමින් වැඩි දෙනා යන එන තැන් බවට පත් කර ගැනීමේ වෑයමක නිරත වුන බව මට මතකයි. ඒ මොනවා වුනත් තවමත් ලංකාවේ මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසා හට් වගේ අවන්හල් ඉහළ මධ්‍යම පාන්තිකයන් (සිංහලෙන් කියනවානම් ටිකක් පොෂ් අය) නිතර ගැවසෙන තැනක් බව රහසක් නොවෙයි. ඒකට හේතුව මේ අවන්හල්වල මිල ගණන් සහ බොහෝවිට ඒවා කොලඹ තදාසන්න ප්‍රදේශ වලට පමණක් සීමා වීම වෙන්න ඇති.
ඇමරිකාවේදී නම්, මැක්ඩොනල්ඩ්ස් වන්දනාමාන කරන්නේ අපි වාගේ අන්ත දුප්පතුන්ය. පොහොසතුන්ට නම් මැක්ඩොනල්ඩ්ස් යෑම ලැජ්ජාවට කාරණයකි. ඇමරිකාවේදී මම ශිෂ්‍යයෙකු නිසාත්, මගේ ශිෂ්‍ය වීසාව නිසා මගේ විශ්වවිද්‍යාලයෙන් දෙන සොච්චම් දීමනාවට අමතරව වෙනත් කිසිදු ආකාරයේ මුදල් ඉපැයීමක් "නීත්‍යානුකූලව" කරන්නට නොහැකි නිසාත්, මා අයත් වනුයේ දුප්පතුන්ගෙනුත් දුප්පත් ගොඩටය. සාමාන්‍යයෙන් ඇමරිකාවේ හොඳ හෝටලයකින් කෑම වේලක් ගැනීමට කෙනෙකුට සාමාන්‍යයෙන් $10 සිට $25 දක්වා මුදලක් වැය වේ. නමුත් මැක්ඩොනල්ඩ්ස් ආපන ශාලාවකින් නම් සාමාන්‍යයෙන් $2 සිට $6 දක්වා ගණනකට බඩ පිරෙන්න කෑ හැකිය. එබැවින් මැක්ඩොනල්ඩ්ස් යනු දුප්පතුන්ගේ පාරාදීසියකි. KFC, පීසා හට් වගේ අවන්හල්ද මේ ගොඩටම වැටේ. මේවාට යන එන අය අතර බොහෝ විට පොදුවේ දැකිය හැකි දෙයක් නම් අධික තරබාරු බවයි. මෙම ආපන ශාලාවල ඇති ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන, මේදය සහ සීනි අධික ඒවා වන අතර, එම ආහාර නිතර පරිභෝජනය නොයෙකුත් රෝගාබාධ වලට මග පාදයි.
බොහෝවිට ශරීර ප්‍රමාණයෙන් කෙනෙකුගේ ආදායම් මට්ටම ගැන දළ අවබෝධයක් ලබා ගත හැක. බොහොම ලස්සනට හා කෙට්ටුවට සිටින ඇමරිකානුවන් බොහෝ විට ඉහළ අදායම් ලබන්නන් වන අතර, අධික තරබාරු අය බොහෝවිට අඩු ආදායම් ලබන්නන් වෙයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන අවස්ථාද නැත්තේ නොවේ. මේ රූපයේ සිටින කාන්තාව අන්තර්ජාලයෙන් සොයාගත් තැනැත්තියක නොව මා විසින්ම ඡායාරූපගත කරන ලද තැනැත්තියකි. මා ජීවත් වන නිවාස සංකීර්ණයේ පැවති සුහද හමුවකදී හමු වූ ඇය දැකීමෙන් අප අතර සිටි කිහිප දෙනෙකුටම ඔක්කාරය ඇති වූවත්, මට නම් ඇති වූයේ පහන් සංවේගයකි. විශ්වවිද්‍යාල සිසුන් වැඩිදෙනා වෙසෙන අඩු මිල නිවාස සංකීර්ණයක වෙසෙන ඇය, තම සහකරු (සැමියා නොවේ) සමග එකට ජීවත් වේ. ඇයගේ මෙම විකෘති දේහ විලාසය බොහෝවිට ඇයගේ ආහාර පාන නිසාම ඇති වූවක් විය හැකිය. එම නිසාම හරි හමන් රැකියාවක නිරත වීමේ අවස්ථාව ඇයට අහමි වී ඇති අතර එම නිසාම ඇයගේ ආදායම් තත්වය සීමා වී ඇත. එම අඩු ආදායම නිසාම ඇයට ගත හැක්කේ ගුණාත්මක බවින් අඩු ආහාර පානයි. මෙය දිළිඳු බවේ විෂම චක්‍රයේ ඇමරිකානු සංස්කරණයයි.