• මුල් පිටුව
  • සටහන් RSS
  • ප්‍රතිචාර RSS
Blue Orange Green Pink Purple

නිමිත්ත

යැංකි කතා කියන්නෙ මම යැංකිවරුන්ගේ දේශයේ හෙවත් ඇමරිකාවේ සිට ගොනු කරන මගේ අත්දැකීම් වලින් බිඳක්. මේ වෑයම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කථා කරන්නවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්නවත් නෙවෙයි. ඒක නිසාම මේක කිසිසේත්ම දේශපාලනික බ්ලොග් එකක් වෙන්නෙ නැහැ.ඇමරිකාව මා මගේ දෘෂ්ඨි කෝණයෙන් දකින විදිහ සහ ඇමරිකාවේදී මා ලබන ජීවිත අත්දැකීම් පිළිබඳව තැබෙන සටහන් ගොන්නක් ලෙසයි මා මෙය ඔබට පිරි නමන්නෙ. මොනයම් හේතුවකට හෝ ඇමරිකාවට එන්න අදහස් කරගෙන ඉන්නවානම්, මෙයින් සුළු හෝ ප්‍රයෝජනයක් ඔබටත් ලබා ගත හැකි යැයි මා විශ්වාස කරනවා. එන්න අදහසක් නැතත් මෙයින් ජීවිතයට උකහා ගත හැකි දේවල් තියෙන්න පුළුවන්.

මැක්ඩොනල්ඩ්ස් සහ දිළිඳු බවේ විෂම චක්‍රය


මැක්ඩොනල්ඩ්ස් යනු ඇමරිකාවේ ඇති ප්‍රමුඛ පෙලේ ක්‍ෂණික ආහාර වෙලඳ සැල් ජාලයකි. දැන් තත්වය කෙසේදැයි මා හරියටම නොදන්නා නමුත්, මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ ආරම්භ කළ මුල් කාලයේ එය සල්ලිය බාගේ යහමින් තියන අය නිතර යන එන තැනක් බවට පත් වුන බව මට මතකය. මැක්ඩොනල්ඩ්ස් පමණක් නොව,  KFC හා පීසා හට්හි ද තත්වය මෙලෙසම විය. පසු කාලීනව ඒ අවන්හල් තම මෙනු දේශීයකරණය කරමින් වැඩි දෙනා යන එන තැන් බවට පත් කර ගැනීමේ වෑයමක නිරත වුන බව මට මතකයි. ඒ මොනවා වුනත් තවමත් ලංකාවේ මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසා හට් වගේ අවන්හල් ඉහළ මධ්‍යම පාන්තිකයන් (සිංහලෙන් කියනවානම් ටිකක් පොෂ් අය) නිතර ගැවසෙන තැනක් බව රහසක් නොවෙයි. ඒකට හේතුව මේ අවන්හල්වල මිල ගණන් සහ බොහෝවිට ඒවා කොලඹ තදාසන්න ප්‍රදේශ වලට පමණක් සීමා වීම වෙන්න ඇති.

ඇමරිකාවේදී නම්, මැක්ඩොනල්ඩ්ස් වන්දනාමාන කරන්නේ අපි වාගේ අන්ත දුප්පතුන්ය. පොහොසතුන්ට නම් මැක්ඩොනල්ඩ්ස් යෑම ලැජ්ජාවට කාරණයකි. ඇමරිකාවේදී මම ශිෂ්‍යයෙකු නිසාත්, මගේ ශිෂ්‍ය වීසාව නිසා මගේ විශ්වවිද්‍යාලයෙන් දෙන සොච්චම් දීමනාවට අමතරව වෙනත් කිසිදු ආකාරයේ මුදල් ඉපැයීමක් "නීත්‍යානුකූලව" කරන්නට නොහැකි නිසාත්, මා අයත් වනුයේ දුප්පතුන්ගෙනුත් දුප්පත් ගොඩටය. සාමාන්‍යයෙන් ඇමරිකාවේ හොඳ හෝටලයකින් කෑම වේලක් ගැනීමට කෙනෙකුට සාමාන්‍යයෙන් $10 සිට $25 දක්වා මුදලක් වැය වේ. නමුත් මැක්ඩොනල්ඩ්ස් ආපන ශාලාවකින් නම් සාමාන්‍යයෙන් $2 සිට $6 දක්වා ගණනකට බඩ පිරෙන්න කෑ හැකිය. එබැවින් මැක්ඩොනල්ඩ්ස් යනු දුප්පතුන්ගේ පාරාදීසියකි. KFC, පීසා හට් වගේ අවන්හල්ද මේ ගොඩටම වැටේ. මේවාට යන එන අය අතර බොහෝ විට පොදුවේ දැකිය හැකි දෙයක් නම් අධික තරබාරු බවයි. මෙම ආපන ශාලාවල ඇති ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන, මේදය සහ සීනි අධික ඒවා වන අතර, එම ආහාර නිතර පරිභෝජනය නොයෙකුත් රෝගාබාධ වලට මග පාදයි.

බොහෝවිට ශරීර ප්‍රමාණයෙන් කෙනෙකුගේ ආදායම් මට්ටම ගැන දළ අවබෝධයක් ලබා ගත හැක. බොහොම ලස්සනට හා කෙට්ටුවට සිටින ඇමරිකානුවන් බොහෝ විට ඉහළ අදායම් ලබන්නන් වන අතර, අධික තරබාරු අය බොහෝවිට අඩු ආදායම් ලබන්නන් වෙයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන අවස්ථාද නැත්තේ නොවේ. මේ රූපයේ සිටින කාන්තාව අන්තර්ජාලයෙන් සොයාගත් තැනැත්තියක නොව මා විසින්ම ඡායාරූපගත කරන ලද තැනැත්තියකි. මා ජීවත් වන නිවාස සංකීර්ණයේ පැවති සුහද හමුවකදී හමු වූ ඇය දැකීමෙන් අප අතර සිටි කිහිප දෙනෙකුටම ඔක්කාරය ඇති වූවත්, මට නම් ඇති වූයේ පහන් සංවේගයකි. විශ්වවිද්‍යාල සිසුන් වැඩිදෙනා වෙසෙන අඩු මිල නිවාස සංකීර්ණයක වෙසෙන ඇය, තම සහකරු (සැමියා නොවේ) සමග එකට ජීවත් වේ. ඇයගේ මෙම විකෘති දේහ විලාසය බොහෝවිට ඇයගේ ආහාර පාන නිසාම ඇති වූවක් විය හැකිය. එම නිසාම හරි හමන් රැකියාවක නිරත වීමේ අවස්ථාව ඇයට අහමි වී ඇති අතර එම නිසාම ඇයගේ ආදායම් තත්වය සීමා වී ඇත. එම අඩු ආදායම නිසාම ඇයට ගත හැක්කේ ගුණාත්මක බවින් අඩු ආහාර පානයි. මෙය දිළිඳු බවේ විෂම චක්‍රයේ ඇමරිකානු සංස්කරණයයි.
Read More 7 comments | Posted by නේෂාධ පෙරේරා |

7 comments

  1. දිල් on March 19, 2010 at 3:09 AM

    මිනිස්සු යාන්ත්‍රීක වෙන්න වෙන්න ඒ මිනිස්සුන්ට තමන්ගෙ කෑමවෙලාවත් තන්ට හදාගන්න බැරි තත්වයක් ආවම ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මේ වගේ මොළකාරයො...ඒකෙ අන්තිම ප්‍රතිථලය උනේ ලෙඩ්ඩු වැඩි උන එක.....

    ඇත්තෙන්ම ලංකාවේ තත්වයත් මීට වෙනස් නෑ කියන්න පුළුවන්. දැන් ලංකාවේ උනත් රුපියල් 350ක් වගේ මිලකට මැක් මීල් එකක් ගන්න පුළුවන්...

    ඔය මොනවා උනත් තමන් අතින් හදගන්න කෑමවේලක රස කොහෙන් ගන්නද ?

     
  2. Anonymous on March 19, 2010 at 8:56 AM

    මිනිස්සු පලවෙනි වතාවට වැදි යුගයෙන් ගොවි යුගයට මාරු වුනු වෙලාවෙදීත් මෙවැනිම ලෙඩ දුක් වැලදුනු බව විද්‍යාඤ්යන් කියනවා. හැබැයී අපේ ශරීර ඒ අලුත් ක්‍රමේට හැඩගැහුනාට පස්සේ ලෙඩ දුක් ඉබ්බේම අඩු වෙලා ගියා. ඒ වෙනස වෙන්න පරම්පරා ගණනාවක් ගතවෙනවා. දැන් අපි ගොවිතැනින්, කාර්මික ගොවිතැනට මාරුවෙන කාලයයී. මේ කාලෙදි ලෙඩ දුක් වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ ඒකයී කියලා පන්ඩිතයෝ කියනවා.

    අපි කියන පරණ කරමයේ "ගුණාත්ම" ආහාර වලින් ලෝකයේ බඩගින්න පුරවන්න විදිහක් නැහැ. ලෝකේ පුරාම තමවත් කිරි සප්පල්යෝ බඩගින්නේ මැරෙනවා. මතකනම් කාලෙකට ඉස්සෙලා, ලංකාවෙ තෙල් පොහොර ගහල හදපූ කෑම ගැනත් අපේ අය බොහෝම අප්‍රසාදය පලකලා. හැබැයී ඒවා නැති උනානම් අපිට කන්න වෙන්නේ පස් තමයී.

     
  3. Anonymous on March 19, 2010 at 9:27 AM

    ඔය විෂම චක්‍රයෙන් මිදෙන්න උවමනාවක් නැති කමත් ප්‍රශ්නයක් කියලයි මම නම් හිතන්නෙ. ලාබෙට, ගුණට ගෙදර උයාගෙන කන්න පුළුවන්කම තියෙද්දි මැක්ඩොනල්ඩ් එකෙන් කන්නෙ උවමනාවක් නැති නිසානෙ.

     
  4. ηiRσ on March 19, 2010 at 9:49 AM

    ඔව් ඔයාගෙ කතාව ඇත්ත. ඇමෙරිකාවෙදි විතරක් නෙවේ, ඕස්ට්‍රේලියාව වගේ කොයි රටට ගියත් මැක්ඩොනල්ඩ් කියන්නෙ දුප්පතාගෙ හිතවතා තමයි.
    මැක් එකක් කෑම මහ ලොකු 'පොෂ්' කමක් කියල හිතාගෙන උඩ පනින්නෙ දෙයක ගුණාත්මක භාවයක් ගැන තේරුම්ගන්න බැරි කට්ටිය කියලයි මට හිතෙන්නෙ. මට මතකයි මැක් ආපුම දවස් වල ඕකට යන්න පෝලිමුත් තිබුනා!
    @දිල් රු. 350 කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ට හැමදාම කන්න පුළුවන් ගාණක් නෙවෙයි. ඔයිට වඩා රස ගුණ දෙකම තියෙන බත් එකක් ඔය ගාණෙන් බාගෙකට ගන්න පුළුවන්. අඩු ගාණෙ සරස්වතී එකෙන් පේපර් තෝසෙ එකක් කනව නෙ. හික්ස්!

     
  5. Indranama on March 19, 2010 at 10:21 AM

    @ දිල්
    මොනව? රු 350ක් කියන්නෙ ලාබ ගාණක්ද? :O
    කැම්පස් එක ලඟ කඩේකින් හොඳට බඩ පිරෙන්න මාලු කෑම එකක් කන්න පුලුවන් රු 80කට !

     
  6. දිල් on March 19, 2010 at 11:35 AM

    niroshinie ට /

    ඇයි හත් දෙයියනේ මම අර පහලින් දාලා තියෙන්නේ ඒක නෙවේද ? මට නම් ගෙදර හදන මොන දේත් ඔය එළියෙන් කන මළජරාව තරම් වටින්නේ නෑ.....

    මම හිතන්නේ මම පහලින් ලියපු ටික ඔයා කියවලා නෑ වගේ

     
  7. දිල් on March 19, 2010 at 11:38 AM

    ඉන්දරේ ට /

    සහෝදරයා....මාත් කැම්පස් එකේ කැන්ටින් එකේ පොඩි බත් පැකට් එක කාපු කෙනෙක්. මම ඒ ගාන මෙහි කතානායකයා සදහන් කල ගානට සංසන්ධනය කලා විතරයි. මොකද ඔහු සදහන් කල ඩොලර් 2-3 ක් ක මීල් එක මෙහෙදි ගත හැකි ගානට.....

    මට ඔය දිරවන්නේ නැති මැක් එකට වඩා එක පොල් රොටියක් වටිනවා

     


Post a Comment

ඔබේ අදහස් දක්වන්න

Newer Post Older Post Home
  • මා ගැන...
      මා යැංකිවරුන් ගේ දේශය හෙවත් ඇමරිකාවට පැමිණියේ 2009 වසර උදාවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දීය. ඒ පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දැනට වෙසෙන්නේ යැංකි රටේ ටෙක්සාස් (Texas) කියන ප්‍රාන්තයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ලබක් (Lubbock) කියන නගරයේය. මගේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ආසා නම්, මෙන්න මෙතන ක්ලික් කොරන්ට.
  • පරණ කථා

    • ▼ 2010 (6)
      • ► April (2)
      • ▼ March (4)
        • මැක්ඩොනල්ඩ්ස් සහ දිළිඳු බවේ විෂම චක්‍රය
        • විශ්වාසය එහෙ සහ මෙහෙ
        • බනානා රිපබ්ලික් හෙවත් කෙසෙල් සමූහාණ්ඩුව
        • ඇමරිකාවේ ලඝු ඉතිහාසය සහ අපේ දිගු ඉතිහාසය

    ලේබල

    • KFC (1)
    • ආකල්ප (1)
    • ඇමරිකානු ඉතිහාසය (2)
    • කෙසෙල් (1)
    • කෙසෙල් සමූහාණ්ඩුව (1)
    • ක්‍රිස්ටෝපර් කොලොම්බස් (1)
    • දැනුම (2)
    • දිළිඳු බවේ විෂම චක්‍රය (1)
    • දුප්පතුන් (1)
    • පර්යේෂණ (2)
    • පීසා හට් (1)
    • බටහිර (1)
    • බනානා රිපබ්ලික් (1)
    • බැංකු (1)
    • මරණ දණ්ඩනය (1)
    • මැක්ඩොනල්ඩ්ස් (1)
    • විභාග (1)
    • විශ්වාසය (1)
    • වෘත්තිය (1)
    • වෛද්‍ය (1)
    • සමාජය (1)

    කථා අහන අය

    යැංකි කතා's Fan Box

    යැංකි කතා on Facebook
  • සොයන්න






    • මුල් පිටුව
    • සටහන් RSS
    • ප්‍රතිචාර RSS

    Creative Commons License යැංකි කතා by නේෂාධ පෙරේරා is licensed under a Creative Commons Attribution - Noncommercial - No Derivative Works 3.0 Unported License.
    Designed by FTL Wordpress Themes | Bloggerized by FalconHive.com | brought to you by Smashing Magazine

    පිටුවේ මුලට