ලංකාවෙදී බැංකුවක් එක්ක ගනුදෙණු කරලා තියෙන අය දන්නවා ඇති කවුන්ටරෙන් සල්ලි ගන්න එක තරමක රස්තියාදු වෙන වැඩක් කියලා. මුදල් හරපත බැංකුවේ අයකැමි වෙත තම ජාතික හැඳුණුම්පතත් එක්ක බාර දුන්නහම, අයකැමි ඒකෙ තියන අත්සන දහ අතේ පරීක්ෂා කරලා බලනවා. ආපසු ගන්න මුදල ටිකක් වැඩි එකක් එහෙම නම්, කළමනාකරු ගේ අත්සන එහෙමත් ඕන වෙනවා. ගිණුම එම බැංකුවේම වෙනත් දුර බැහැර ශාඛාවක එකක් නම්, සමහරවිට මුදල් ආපසු ගන්න ලැබෙන්නෙ ගිණුම අයත් ශාඛාවෙන් ෆැක්ස් පතක් මගින් එම ගිනුම් හිමියා පිළිබඳව තහවුරු කළ පසුව පමණයි. කොටින්ම කියනවනම්, ගිණුම් හිමියා ලොකු වංචාවක් හරි හොරකමක් හරි කරන්න යන ගානට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නෙ. මම මේ විස්තර කලේ මට පෞද්ගලිකවම ලංකාවේ නමගිය රාජ්‍ය බැංකුවකදී අත්විඳින්නට සිදුවූ සිදුවීම් සමුදායකුයි. සමහරවිට පෞද්ගලික බැංකුවල ප්‍රතිපත්ති මීට වඩා වෙනස් ඇති. නමුත් තම ගණුදෙණුකරුවා කෙරෙහි බැංකු දක්වන ආකල්පය නම් අඩු වැඩි වශයෙන් එලෙසම බවයි මගේ හැඟීම.
මීට සමානම අත්දැකීමක් මට මා සේවය කළ (තවමත් කරන) විශ්වවිද්‍යාලය තුලදී අත්දකින්නට ලැබුණා. ඒ තමයි විභාග පැවැත්වීමේදී පනවන නීති රීති සමුදාය. අදාල දේශකයා විසින් සකස් කරන ප්‍රශ්න පත්‍රය තවත් අයෙකුගේ අධීක්ෂණයෙන් පසු ඉතාමත් රහසිගත ලෙස මුද්‍රණය කොට මුද්‍රා තබනු ලැබේ. ඉන්පසු, විභාග දිනයේදී විභාග ශාලාවේදී තවත් සිසුන් දෙදෙනෙකුගේ අත්සන් ලබාදෙන ඔවුන් ඉදිරියේ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවේ මුද්‍රා කඩා විභාග ශාලා පරීක්ෂක හමුදාවක් ඉදිරියේ විභාගය පවත්වනු ලැබේ. මෙහිදී, එක් එක් සිසුන්ට විශ්වවිද්‍යාලයේ අන් සියළු කටයුතු වලට භාවිතා කරන තම ශිෂ්‍ය පරිශීලක අංකයෙන් (Student Registration Number ) සම්පූර්ණයෙන්ම වෙනස් වූ විභාග අංකයක් (Index Number) ලබාදෙනු ලැබේ. පිළිතුරු සැපයීමෙන් අනතුරුව, එම උත්තර පත්‍ර පලමු වර ඇගයීම සඳහා අදාල විෂය ඉගැන්වූ දේශකයා හටත්, ඉන් පසුව දෙවන වර ඇගයීම සඳහා බාහිර පරීක්ෂකයෙකු වෙතත් යොමු කරනු ලබයි. චිරාත් කාලයක් ගතවීමෙන් අනතුරුව, එම විභාග ප්‍රථිඵල පීඨ සභා (Faculty Board) ගත කොට, දෙවෙනි සභා වාරයේදී තහවුරු කොට ඉන් පසුව සෙනෙට් සභා (Senate) ගත කොට, එහිද ඊලඟ සභා වාරයේ නැවත කියවීමෙන් පසුව නිල විභාග ප්‍රථිඵල බවට පත් වෙයි. බැරි වෙලාවත් පුංවි හරි කොල කෑල්ලක් හරි ශිෂ්‍යයෙකු ලඟ තිබිලා අහු වුනොත්, එම ශිෂ්‍යයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වලා, ඊට දිය හැකි උපරිම දඬුවම ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය වග බලා ගන්නවා. මේ සියළු ක්‍රියා දාමයන් සිදු වන්නේ විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්ය මණ්ඩලය වංචා කරන්නට තැත් කරන්නේ යැයි පූර්ව නිගමනයකට එළඹී ඇතිවාක් මෙනි.
යැංකි රටේ මේ අවස්ථා දෙකම මීට හාත්පසින්ම වෙනස්ය. බැංකුවකින් මුදල් ආපසු ගන්නට අත්සන පමණක් තිබීම හොඳටම සෑහේ. එමෙන්ම, තරමක් ලොකු ගණනක් ආපසු ගන්නා විට කුමක් හෝ හැඳුණුම්පතක් (ශිෂ්‍ය හැඳුණුම්පත වුවද) සෑහේ. අන්තර්ජාලය තුලින් ඉලෙක්ට්‍රෝනික චෙක් පතක් මගින් ගෙවීම් කිරීමට බැංකු ගිණුම් අංකය සහ බැංකු මාර්ගගත අංකය (Routing Number) භාවිතා කිරීමෙන් එය කළ හැකිය. ණය කාඩ්පත් (Credit Card) හෝ හර කාඩ්පත් (Debit Card) මගින් ගෙවීම් කිරීමේදී, කිසි විටෙකත් අත්සන් එකිනෙක සසඳා බැලීමක් සිදු නොකෙරෙයි. කොටින්ම කිව්වොත් අනෙකාගේ බැංකු ගිණුම් අංකය ඇස් පනා පිටම පෙනි පෙනීත්, කිසිවෙකු හොරකම් නොකරන ගානට තමයි වැඩ සිද්ධ වෙන්නෙ. තවත් විදියකට කියනවානම්, ගණුදෙණුකරුවා ගැන පූර්ණ විශ්වාසයකින් තමයි මෙහෙ බැංකු වගේම අනෙකුත් ආයතනත් කටයුතු කරන්නෙ.
විශ්වවිද්‍යාලයේදී විභාගයකදී, මහාචාර්යවරයා හෝ මහාචාර්යවරිය කොලයක තමන්ගේ අත් අකුරින් කුරුටු ගා (ටයිප් කරන්න අකමැති අය) ඡායා පිටපත් කරගත් ප්‍රශ්න පත්‍ර ටික තමන්ම ගෙනවිත් එදිනෙදා දේශන පවත්වන පන්ති කාමරය තුලදීම සිසුන්ට බෙදා දෙනවා. සිසුන් ඊට පිළිතුරු ලියන අතරතුර සමහරවිට තමන්ගේ කෝප්පයේ කෝපි ඉවර නම් සමහරවිට කෝපි එකක් වක්කරගෙන එන්න ශාලාවෙන් බැහැරව යන්නත් මේ තාවකාලික විභාග ශාලාවට ඉන්න එකම පරීක්ෂක වරයා වන අර මහාචාර්ය වරයා පසුබට වෙන්නේ නැහැ. සමහර මහාචාර්ය වරුන් තමන්ගේ සිසුන්ට විභාගයට එනකොට තමන්ට අවශ්‍ය කරුණු ලියාගත් කොලයක් ගෙන ඒමටත් අවසර දෙනවා. විභාගය අවසානයේ ඊට පසු දින හෝ දින දෙක තුනකට පසු තම තමන්ගේ ප්‍රථිඵල විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියට තමන්ගේ පරිශීලක පදය හා මුර පදය ඇතුලත් කර පිවිසෙන සිසුන්ට දැකගත හැකියි. සිසුන් හා ආචාර්ය මණ්ඩලය පිළිබඳව එතරම්ම විශ්වාසයකිනුයි ඇමරිකාවේ විශ්වවිද්‍යාල බලධාරීන් ක්‍රියා කරන්නේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල විභාග බොහෝවිට සිසුන් අසමත් කිරීම උදෙසාම සැකසූ ඒවා වුනත්, ඇමරිකාවේදී ඒවා සිසුන් කොතරම් කොතරම් දේවල් මතක තබාගත්තාද යන්න විමසීමට වඩා සිසුන් කොතරම් හොඳින් කරුණු කාරණා අවබෝධ කර ගත්තාද යන්න විමසීම උදෙසා සැකසෙයි.
ඉතින් මම මේ නිරීකෂණය කවුරු හරි මගේ හිතවතෙකුට පැවසූ විට ඔහුගේ මතය වූයේ, එහෙම වුනාට කවුරු හරි මෙහෙ වැරැද්දකට අහු වුනොතින් තත්වය බරපතල බවයි. ඒක අහපු මම එලඹුණු පූර්ව නිගමනය තමයි, ඇමරිකාවේදී කෙනෙක් පිළිබඳව කොතරම් විශ්වාසය තැබුවත්, එම පුද්ගලයා වැරද්දකට චෝදනා ලැබුවහොත්, ඔහු තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන තෙක් වැරදිකරුවෙක් බවට නීතිය ඉදිරියේ පිළිගැනෙනවා කියන එක. නමුත් ඒක සහමුලින්ම වැරදියි. අධිකරණයකින් වැරදිකරුවෙක් කරන තෙක් චූදිතයා නිර්දෝෂී බව මේ රටේත් පිළිගැනෙනවා. මගේ හිතවතා අදහස් කරලා තියෙන්නේ මෙහෙ දඬුවම් සැර වැඩි බවයි. මෙහෙ තාමත් ප්‍රාන්ත 37 ක මරණ දණ්ඩනය පැනවෙනවා. ඒ බොහෝවිට විෂ ශරීරගත කිරීම මගිනුයි.
මූලාශ්‍ර:
මෙය මෙතන පලකල යුතු අදහසක් නොවුවත් පලකරමි..........සමාවන්න...
හැකිනම් ඇමරිකාව(යැංකි) රටෙ අපට ලබාගත හැකි පශ්චාත් උපාධි අවස්තාවන්() පිලිබදව බ්ලොග් පිටුවක් ආරම්භ කරන්න.....
ලසන්ත-මහනුවර
අහා මේ අපේ අයිය සෑර් කෙනෙක්නෙ යැංකි කතා ලියන්නෙ.දැනුයි ෆොටෝ එක දැක්කෙ.
විභාග වලදි cheat-sheet එකක් අරන් යන්න දෙන එක Comp-Eng-Dept එකේ Mid Sem Exam වලදි දැන් අපි කරනවා.
ඒත් End Sem Exams වලදි ඒක කරන්න දෙන්න බෑ කිවුවා.
ඇමරිකාවෙ Academic dishonesty කියන එක බරපතල කාරණයක්නෙ. ජීවිත කාලයටම විභාග ගන්න ගියාම වපර ඇහින් තමා බලන්නෙ.
Lab report එකක් පවා ගිය අවුරුද්දෙ දීපු ඒවා එක්ක සංසන්දනය කරන්නෙ plagiarism ද කියලා බලන්නනෙ.
@Anonymous
ඉඩ ලැබෙන විදියට ඒ ගැන යමක් පල කරන්න උත්සාහ ගන්නම්.
@Chanaka Aruna Munasinghe
එහෙම හරි ටිකක් ලිහිල් ප්‍රතිපත්තියකට හුරු වුන එක ගැන සතුටුයි. දැන් ලංකාවේ බොහොමයක් විශ්වවිද්‍යාල වල විෂය ඒකක ක්‍රමය හඳුන්වලා දීලානේ තියෙන්නේ. එතනදී 50% ක් විතරම ලකුණු ලබා දෙන්නේ අඛණ්ඩ ඇගයීම (Continuous Assesment) කියන සංරචකයට. සමහර විට මේ ප්‍රතිශතය 60% දක්වා වුනත් ඉහළ යන්න පිළුවන්. එතනදී ගුරුන්ටයි ගෝලයින්ටයි හිතූ මනාපෙට නටන්න ඉඩ තියෙනවා. නමුත් අර අවසාන විභාගේ විතරක් මහා සංකීර්ණ නීති රීති සමුදායක් මැද හැමෝටම කරදරයක් වෙන විදියට පවත්වලා අපි අපේම හිත් රවටා ගන්නවා.
@nadeesthoughts
මගේ අර හිතවතාගෙ අදහස වුනෙත් ඕකම තමයි. කොතරම් විශ්වාසයෙන් කටයුතු කළත්, එක වැරැද්දකට අහු වුනොත් ආයෙ මුළු ජීවිත කාලයටම විඳවන්න වෙනවා. සාමාන්‍යයෙන් මෙහෙදී ශිෂ්‍යයන්ව ඉහළින්ම විශ්වාස කළත්, plagiarism ගැන පොඩි හරි සැකයක් මතු වුනොත් ඒ ගැන දිහටම සොයා බලා අවශ්‍ය දඬුවම් දෙන්න පසුබට වෙන්නෙ නැහැ.