• මුල් පිටුව
  • සටහන් RSS
  • ප්‍රතිචාර RSS
Blue Orange Green Pink Purple

නිමිත්ත

යැංකි කතා කියන්නෙ මම යැංකිවරුන්ගේ දේශයේ හෙවත් ඇමරිකාවේ සිට ගොනු කරන මගේ අත්දැකීම් වලින් බිඳක්. මේ වෑයම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කථා කරන්නවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්නවත් නෙවෙයි. ඒක නිසාම මේක කිසිසේත්ම දේශපාලනික බ්ලොග් එකක් වෙන්නෙ නැහැ.ඇමරිකාව මා මගේ දෘෂ්ඨි කෝණයෙන් දකින විදිහ සහ ඇමරිකාවේදී මා ලබන ජීවිත අත්දැකීම් පිළිබඳව තැබෙන සටහන් ගොන්නක් ලෙසයි මා මෙය ඔබට පිරි නමන්නෙ. මොනයම් හේතුවකට හෝ ඇමරිකාවට එන්න අදහස් කරගෙන ඉන්නවානම්, මෙයින් සුළු හෝ ප්‍රයෝජනයක් ඔබටත් ලබා ගත හැකි යැයි මා විශ්වාස කරනවා. එන්න අදහසක් නැතත් මෙයින් ජීවිතයට උකහා ගත හැකි දේවල් තියෙන්න පුළුවන්.

ගෙඹි පැටියෝ ඔයයි මමයි


ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය ආදී යුග ගණනාවක් පසු කළ මිනිස් ඉතිහාසයේ මේ ගෙවී යන්නේ දැනුම යුගය බවට විවිධ මත පළවේ. මේ පිළිබඳව මීට ඉහත යැංකි කතාවකදීත් මා සඳහන් කළෙමි. ලොව ප්‍රමුඛ පෙලේ රටවල් අතරට ඒමට නම්, අප දැනුමින් පොහොසත් විය යුතු බවත්, ඒ සඳහා අප ඉදිරියේ ඇති ප්‍රශ්න කිහිපයකුත් ඉදිරිපත් කරමින් මා එම සටහන අවසන් කළෙමි. මා නැඟූ එක් ප්‍රශ්නයක් වූයේ, අප රටේ පර්යේෂණ කටයුතු නංවාලීමට රජය විසින් ඉටු කරන කාර්ය භාරය කුමක් ද යන්නයි. නමුත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ එය නොව ශ්‍රී ලාංකිකයන් වන අප, ඒ සඳහා ඇවැසි ආකල්පමය වෙනස ඇති කර ගන්නේ කෙලෙසද යන්නයි. 

දැනුම පාදක කරගත් සමාජයකට අඩිතාලම වැටුනේ මීට දශක කිහිපයකට පෙරයි. අද ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට නොවිඳිනා දුකක් නැත. ලාංකික දෙමාපියන් වැඩිපුරම තම ධනය හා කාලය ආයෝජනය කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. දිවයිනේ ජනප්‍රිය පාසලකට (බොහෝ විට ජාතික පාසලකට) පළමු වසරේදීම තම දරුවා ඇතුලත් කරවා ගන්නට පදිංචිය වෙනස් කිරීමටත්, තම කනකර උගස් කර හෝ දහසින් බැඳි පියලි අල්ලස් ලෙස පුද කරන්නටත් නොපැකිලෙන දෙමාපියන්, පළමු වසරේ සිටම තම දරුවා ටියුෂන් පන්ති කන්දරාවක් කරා දක්කා ගෙන යයි. සෑම දෙමාපියෙකුටම ඇවැසි වන්නේ තම දරුවා කෙසේ හෝ අවසානයේ දොස්තර කෙනෙකු, ඉංජිනේරුවකු, නීතීඥයකු වැනි සමාජයේ ඉහල පෙලේ රැකියාවක් කරන අයෙකු කිරීමටයි. (දැන් දැන් නම් තම දරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීමට වෙහෙසෙන දෙමාපියන් ගැනද, සුපර් ස්ටාර්ලා කිරීමට වෙහෙසෙන දෙමාපියන් ගැනද අසන්නට ලැබේ). ඒ සඳහා ලංකාවේ බැරිනම් රුසියාවේ, ඉන්දියාවේ හෝ වෙනත් රටක හෝ විශ්වවිද්‍යාලයකට තම දරුවා යොමු කිරීමට තරමක් ඇති හැකි දෙමාපියෝ පෙලඹෙති. ජීවිත කාලයක් පුරාවටම හරි හම්බ කරපු සබ්බ සේසතම වුවත් ඒ සඳහා වැය කිරීමට ඔවුන් පසුබට නොවේ. දෙමාපියන්ගේ පැත්තෙන් බලන විට එහි ඇති වරදක් නැත. මන්ද සෑම දෙමාපියකුම වෙහෙසෙනුයේ තම දරුවා සමාජයේ   ඉහළම තලයේ වැජඹෙනු දැකීමටය. මේ අතරින් තම දරුවා වෛද්‍යවරයකු කිරීමට තැතනීම පිළිබදව අපි සොයා බලමු. අනෙක් වෘත්තීන් පිළිබඳවද මේ අයුරින්ම කරුණු කාරණා යෙදී ඇති බැව් ඒ පිළිබඳව සොයා බලන්නෙකුට වැටහෙනු ඇත.

තම දරුවා කෙසේ හෝ වෛද්‍යවරයකු කරවීමේ  දෙමාපියන් තුල ඇති වුවමනාව පසුපස ඇති පෙළඹවීම කුමක්ද? මෙයට පිළිතුරු සොයන විට අපට හේතු කිහිපයක් හමු වේ. මේවා මේ සඳහා හේතු විය හැකි කරුණු ලෙස මට වැටහුණු කරුණුය. මීට අමතර හේතු ද තිබිය හැක.
  1. වෛද්‍ය වෘත්තිය ලොව ඇති උතුම්ම සහ වැදගත්ම වෘත්තිය බවට ඇති සමාජ පිළිගැනීම - මෙය අවිවාදයෙන්ම සත්‍යය. 
  2. වෛද්‍ය වෘත්තිය යහමින් මුදල් උපයා ගත හැකි වෘත්තියක් වීම - මෙය ලංකාවේ පමණක් නොව යැංකි රටේද එසේමය. නමුත් ඊටත් වඩා උපයා ගත හැකි වෘත්තීන් ලොව ඇත. තවද යහමින් මුදල් ඉපයීමට හැම වෛද්‍යවරයාටම නොහැක. ඒ සඳහා පෞද්ගලික ප්‍රථිකාරවල නිරත වන ජනප්‍රිය වෛද්‍යවරයකු විය යුතුය.
  3. තම නෑසියන්ගෙන් කෙනෙකුගේ පවුලේ දරුවකු හෝ අසල්වැසියාගේ දරුවකු වෛද්‍යවරයකු වීම හෝ වීමට සිහින දැකීම
  4. දෙමාපියන් වෛද්‍යවරුන් වීම
  5. මේ කිසිම බලපෑමකින් තොරව දරුවාගේ ස්ව කැමැත්තෙන්ම වෛද්‍යවරයකු වීම.

මෙයින් කිහිපයක් මගේ පෞද්ගලික අත්දැකීම් වන අතර, පස්වැනියට දක්වා ඇති හේතුව මත වෛද්‍ය වෘත්තියට පිවිසී සිටින්නෝද බහුල බව මම අත්දැකීමෙන් දනිමි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු විය හැක්කේ ඉතා සීමිත පිරිසකට බවත්, එම පිරිස, ලාංකීය දරුවන් අතර ඉහළම බුද්ධි මට්ටමේ ඇති අය බවද අවිවාදයෙන් යුතුවම පිළිගත යුතුය. වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන්නේ අ. පො. ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළම ලකුණු ලබාගත් 900 - 1000 අතර පිරිසකි. එබැවින් එම පිරිස, අප රටේ බුද්ධිමතුන් අතර සාරය ලෙස ගත හැකිය. තම තරුණ වියෙන් සැලකිය යුතු කාලයක් ඒ සඳහා ඔවුන් වැය කරති. ප්‍රශ්නය වන්නේ මොවුන් වෛද්‍යවරුන් වීම නොවේ. මෙසේ වෛද්‍යවරුන් බවට පත්වන රටේ ඉහළම බුද්ධිමතුන්ට ඉන් පසුව සිදු වන්නේ කුමක්ද යන්නය?

උදෑසනම අවදි වී තම පෞද්ගලික සායනයේ වැඩට යන වෛද්‍යවරයා පැය කිහිපයකින් පසුව තමා අනුයුක්ත කර ඇති රෝහලේ සේවයට වාර්තා කරයි. රෝහල් සේවය අවසන් වී නැවතත් පෞද්ගලික සායනයට යන හෙතෙම සමහර විට මැදියම් රැය වන තෙක් එහි ගත කරයි. ඉන්පසු තවත් තමන් වැනිම දින පුරාම වෙහෙස වී හෙම්බත් වුනු තම වෛද්‍ය සගයන් කිහිප දෙනෙක් සමග එක්වී මධු විතක් තොල ගා ගෙදර විත් නින්දට වැටෙයි. මේ මා දන්නා එක් වෛද්‍යවරයකු ගේ (ඇත්තෙන්ම වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම) දින චරියාවයි. එසේ නොවන අයද බොහෝ සිටින බව මම දනිමි. විශේෂයෙන් අවසාන පියවර අනුගමනය නොකර කෙලින්ම නින්දට යන්නෝ බොහෝය. සමස්තයක් ලෙස ගතහොත් බොහෝ වෛද්‍යවරුන් ගත කරන්නේ ඉතා යාන්ත්‍රික ජීවිතයකි. ඔවුන් අතරින් විද්‍යාත්මක පර්යේෂණ වල නිරත වන, නව දැනුම උත්පාදනය කරන අය ඇත්තේ කී දෙනාද යන්න මා හරියටම නොදනිමි. නමුත් ඒ ගනන අතේ ඇඟිලි වලින් ගිනිය හැකි තරම් කුඩා බැව් පැහැදිලිය. එක්තරා විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් ලංකාවේ තම පර්යේෂණයට අදාල විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඔහුගේ දැනුම,  දශකයකින් පමණ පැරණි යැයි පැවසූ බව මා අසා ඇත්තෙමි. එම ප්‍රකාශය තුල මේ මුළු සටහනේම සාරය ගැබ්ව ඇතැයි මට හැඟේ.

මෙම තත්වය පොදු වන්නේ වෛද්‍ය වෘත්තියට පමණක් නොවේ. ඉංජිනේරුවන්, නීතීඥයන්, ගණකාධිකාරීවරුන්, පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරුන් සියලු දෙනා අවසානයේ තම ඒකාකාරී වෘත්තීමය ජීවිතයට කොටු වී කල් ගෙවති. මා දන්නා පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරයකු වරක් පැවසූයේ, හම්බ කරන මුදලවත් වියදම් කිරීමට විවේක කාලයක් නැති බවයි. පවතින අධ්‍යාපන රටාව තුල, රටේ ඇති හොඳම මොල ටික ඒකාකාරී, යාන්ත්‍රික ජීවිතයකට කොටු කර දැමීම රටක් වශයෙන් අපට ඇති මහඟු සම්පතක් අපතේ හැරීමකි.

මේ අතරින් සියයට දහයක වත් පිරිසක්, තම තමන් නිරත වන කෂේත්‍රයේ පර්යේෂණ කටයුතු වලට දායක වෙන පර්යේෂකයින් ලෙස ක්‍රියා කරනවා නම්, දැනුම පිළිබඳව බටහිරට ඇති ගැති බවින් මිදී රටක් වශයෙන් ඉදිරියට යාමට අපට හැකි වනු ඇත. මේ සඳහා සුවිශේෂීම කාරය භාරය පැවරෙනුයේ, අද දවසේ පාසල් යන වයසේ දරුවන් සිටිනා දෙමාපියන්ටය. තම දරුවා ලමා මනසට ඔරොත්තු නොදෙන තරම් වූ ඉලක්කයක් හඹා යන්නේකු බවට පත් නොකර, ලමා වියට හිමි සුන්දර ලමා කාලයක් ගත කිරීමට අවස්ථාව සලසා දීම ඔවුන්ගේ වගකීමයි. මානව සිත් සතන් නිබඳවම කළඹවන කුතුහලය පිරි ලමා මනසකින් අනාගත ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු, ප්ලේටෝ කෙනෙකු හෝ බිල් ගේට්ස් කෙනෙකු බිහි නොවනු ඇතැයි කිව හැක්කේ කාටද? "තරගකාරී සමාජය හමුවේ මෙහෙම නොකර බෑ" කියමින්, දෙමාපියන්ට දුවන්නට ඕනෑ කරන රේස් එක දුවන්නට තම දරුවන්ද තල්ලු කරමින් ඔවුන්ගේ මේ කුතුහලය පිරි සිත් මොට කරන්නේ දෙමාපියන්මය. සුද්දා අපට උරුම කර දී ගිය සුදු කරපටි රස්සා සංකල්පයෙන් මිදෙන්නට දැන් කාලයයි. නැතහොත්, ආණ්ඩුව මොන දහංගැට දැම්මත්, කොපමණ මුදල් වැය කළත්, රට වැසියා මේ සත්‍යය සිය නුවණින් විමසා බලා තම ආකල්ප වෙනස් කර නොගන්නා තාක් කල් අප සැමදාමත් ඉන්නේ මේ ලිං පතුලේමය.

පින්තූරය උපුටා ගැනීම: http://fineartamerica.com/featured/the-frog-and-the-well-denny-bond.html
Read More 2 comments | Posted by නේෂාධ පෙරේරා |

දැනුම සොයා බටහිරට...

මම පශ්චාත් උපාධියක් ලබා ගැනීමට ඇමරිකාවටම පැමිණීමේ වුවමනාවෙන් පෙළුනෙක්මි. ඒ වෙන මොකවත් නිසා නොව, සතයක්වත් වියදම් නොකර, ඉගැන්වීම් සහායකයකු (Teaching Assistant) ලෙස රැකියාවක් කරන ගමන්ම පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල යෙදීමට ඇමරිකාවේ ඉඩ ඇති බැවිනි. එබැවින් ශිෂ්‍යත්ව ආදී උගුල් වල නොවැටීමට මම පරිස්සම් වුනෙමි. ඒවායේ ඇති කප්පරක් කොන්දේසි වලට යටත් වනවාට වඩා, උගන්නන ගමන් ඉගෙන ගන්න ක්‍රියාවලියට මම කැමැත්තෙමි. නමුත්, ඉන් එහාට වෙනත් රැකියා කිරීමට ඇමරිකානු රජය ශිෂ්‍ය වීසා ඇති අප වැනි විජාතික අයට ඉඩ නොදෙයි. ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක සමග යැපෙන්නේකු ලෙස මෙම රටට එන බිරිඳට හෝ සැමියාට නෝජොබ් කොම්පැණියේ රැකියාවක් කිරීම හැර අන් කිසිවක් කිරීමට මෙහි අවසර නැත.

කෙසේ වෙතත්, මෙහි පශ්චාත් උපාධි හදාරන බොහෝ දෙනා ජාත්‍යන්තර සිසු සිසුවියන්ය. (ඇමරිකානු සිසුන් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට වැඩි නැඹුරුවක් නොදක්වයි. නමුත් මේ දිනවල මෙම තත්වය තරමක් වෙනස් වී ඇත. ඒ තාවකාලිකව ලොව පුරා පැතිරී ඇති ආර්ථික අවපාතය හමුවේ රැකියා සොයා ගැනීම අපහසු බැවින් බොහෝ දෙනා දිගටම ඉගෙන ගැනීමට පෙලඹී ඇත. නමුත් මෙය තාවකාලික බව බොහෝ දෙනාගේ මතයයි.) මෙසේ පිට රටවලින් (බොහෝ විට ආසියාතික රට වලින්) මෙහි පැමිණෙන සිසුන් ඇමරිකානු උසස් ජීවන තත්වය අත් විඳීමෙන් පසුව කෙසේ හෝ ඇමරිකාවේම පැලපදියම් වීමට උත්සාහ කරයි. ඒ සඳහා වෙන් වූ පැහැදිලි ක්‍රමවේදයක් පවතින අතර, එමගින් වසර කිහිපයකින් ඇමරිකානු පුරවැසි භාවය වුවද ලබා ගැනීමට අපහසු නැත.

මෙම සිසුන් බොහෝ දෙනා ආචාර්ය උපාධි හැදෑරීම සඳහා පර්යේෂණ කටයුතු වල නිරත වන්නන්ය. ආචාර්ය උපාධිය අවසන් වීමෙන් පසුව වුවද, පර්යේෂකයෙකු ලෙස තමා ගොඩනගා ගත් ප්‍රතිරූපය දිගටම පවත්වාගෙන යාමට ඔවුන් කැමැත්තෙන් පසු වෙයි. නමුත්, ඒ සඳහා තම මවු රටේ ප්‍රමාණවත් පහසුකම් හා නිදහසක් නොමැති තැන, ඒ පිළිබඳව නිබඳවම අත හිත දීමට සැදී පැහැදී සිටින ඇමරිකාවේම ජීවිතයේ ඉතිරි කලත් ගෙවා දැමීමට මොවුහු නිරායාසයෙන්ම යොමු වෙයි. මෙලෙස ඇමරිකාවේ ස්ථානගත වීමට බලපාන තවත් හේතු තිබේ. චීන ජාතිකයන් බොහෝවිට ඇමරිකාවට ආ විගසම කරන්නේ හැකි තරම් දරුවන් හැදීමය. චීනයේ පවුලකට සිටිය හැකි දරුවන් ගනන සීමා සහිත නමුත් ඇමරිකාවේ එසේ නැත. මෙසේ හැදූ දරුවන් සමගින් නැවතත් චීනයට යාමට නම්, වැඩිපුර දරුවන් සඳහා චීන රජයට ඔවුන් මුදල් ගෙවිය යුතු බව මා අසා ඇත. එසේ නොවුනද චීනයේ දරදඬු පාලනයත් සමග සසඳන කළ, මෙහි ඇති නිදහස් පරිසරය ඇමරිකාවේම සිටීමට ඔවුන් නිරායාසයෙන්ම පොලඹෙනු ඇත. එබැවින්, බොහෝ දෙනා තෝරා ගන්නේ දිගටම ඇමරිකාවේම රැඳී සිටීමයි. දෙවන ලෝක යුද සමයේ නාසින්ගේ යුදෙව් ජන සංහාරයෙන් මිදීමට ඇමරිකාවට පලා ආ යුදෙව් විද්‍යාඥයින්ද මේ ගනයටම අයත්වේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද දිගටම ඇමරිකාව තුලම රැඳී සිටියහ.

මෙලෙස අන් ජාතිකයන්ට ඇමරිකාවේ රැඳී සිටීමට අවසර දීමටත්, ඔවුන්ට පසු කාලීනව ඇමරිකානු පුරවැසි භාවය ලබා දීමටත් ඇමරිකානු රජය කාරුණික වන්නේ ඇයි? උසස් අධ්‍යාපනය සඳහා මෙරටට පැමිණෙන බොහෝ විජාතිකයන් සාමාන්‍ය ඇමරිකානුවන්ට වඩා බුද්ධි මට්ටමෙන් වැඩි අයයි. බොහෝ ඇමරිකානු උපාධිධාරීන් උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවන තත්වයක් තුල, මෙහි විශ්වවිද්‍යාලවල ඇති පර්යේෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට නම්, වැඩි වැඩියෙන් විදේශීය සිසුන් ඒ සඳහා අනුයුක්ත කර ගත යුතුය. මොවුන් කරනු ලබන පර්යේෂණ වලින් බිහිවෙන නව සොයාගැනීම්වල අයිතිය බොහෝවිට එම ආයතනයට හෝ, ඒ සඳහා මුදල් වියදම් කළ ආයතනයට පැවරේ. එම නව නිර්මාණ ලොව පුරා භාවිතා කිරීම සඳහා බලපත් ලබා දීමෙන් ඇමරිකාව ලබන ආදායම, ඒවා සොයා ගැනීමට දායක වූ සිසුන් ගේ පශ්චාත් උපාධි සඳහා වැය කළ මුදල මෙන් දස දහස් ගුණයකින් වැඩිය. තවද, එමගින් ඇමරිකාව ලෝකයේ තාක්ෂණික බලවතා වීමෙන් සහ අන් රටවල් තාක්ෂණික යටත් විජිත ලෙස තබා ගැනීමෙන් ලබන වාසිය මිල කළ නොහැකිය. ලෝකයේ අංක එකේ රට ලෙස ඇමරිකාවට ඇති ස්ථානය ලබා ගැනීමට මෙමගින් ඇතිවූ බලපෑම සුළු පටු නොවේ.

ගල් යුග, ගොවි යුග, එඬේර යුග ආදී මෙකී නොකී යුග ගණනාවක් පසුකළ මිනිසා මේ ගෙවෙන්නේ දැනුම් යුගයක් බව මා අසා ඇත. මේ යුගයේ දැනුම හොඳින් මාකට් කළ හැකිය. එමගින් ලැබිය හැකි වරප්‍රසාද අති මහත්ය. අම්මා මුත්තා කාලේදීවත් අසා නැති ජාන හොරුන්, පේටන්ට් හොරුන් ආදීන් බිහි වෙන්නේ, දැනුම යනු රන් හා සමාන ආයෝජනයක් නිසාය. දැනුම අතින් ඉදිරියෙන් සිටීමට අද සෑම රටක්ම උනන්දු වේ. දශක තුනක් පුරාවට ඇදීගිය යුද්ධයක් අවසානයේ සැනසුම් සුසුම් හෙලමින් සිටින අප, දැන් රට දියුණු කිරීමේ පිඹුරුපත් සදමින් සිටී. හුදෙක් බටහිර ඇති දැනුම ලබා ගැනීම පමණක් රටේ ඉදිරි ගමනට ප්‍රමාණවත් වේද? ඒ දැනුම යල් පැන ගිය පසු අප කරන්නේ කුමක්ද? අප අපට ආවේණික වූ දැනුම් ගබඩාවක් සාදා ගත යුතු නොවේද? (මෙමගින් අප අපේ වැලලී ගිය ඉපැරණි තාක්ෂණය යලි ගොඩ ගත යුතු යැයි අදහස් නොකෙරේ. නව ලෝකයට ගැලපෙන පරිදි නව දැනුම බිහි කළ යුතු නොවේද යන්න මෙමගින් ප්‍රශ්න කෙරේ) ඒ සඳහා අප අප රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් නව දැනුම සොයා යන පර්යේෂණ කරා මෙහෙයවිය යුතු නොවේද? එම පර්යේෂණ, හුදෙක් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ උසස්වීම් සඳහා පමණක් යොදා ගන්නා, පර්යේෂණ පත්‍රිකා වලට පමණක් සීමා නොවූ ප්‍රායෝගික භාවිතයන් සඳහා යොදා ගත හැකි පර්යේෂණ විය යුතු නොවේද? මේ සියල්ල කිරීමට නම්, ඒ සඳහා අවශ්‍ය වන න්‍යායයික දැනුම ලබාදීම මගින් ශක්තිමත් අඩිතාලමක් කුඩා කල සිට අප දරුවන්ට දිය යුතු නොවේද?

මේ සියළු ප්‍රශ්න අතර තවත් වැදගත් ප්‍රශ්නයක් ඇසීමට ඇත. එනම්, මේ සියළු දේවල් සඳහා ඉටු කිරීම සඳහා ශ්‍රී ලාංකික රජය ඉටු කරන කාර්ය හාරය කුමක්ද? මා දන්නා තරමින් නම්, දළ ජාතික ආදායමෙන් විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ කටයුතු සඳහා රජය වාර්ෂිකව වැය කරනුයේ 0.5% පමණ ඉතා කුඩා අගයකි. එය ලොව බොහෝ රටවලට වඩා බෙහෙවින් කුඩා වේ. තවද, මුදල් වෙන් කළ පමණින් මේ සියල්ල හරි යනවාද? ඒ සඳහා රටේ ඇති කළ යුතු ආකල්පමය වෙනස, අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයන් ඇති කරන්නේ කෙලෙසද? මේවා සියල්ල තවදුරටත් ප්‍රශ්න පමණක්ම නම්, දැනුම සොයා බටහිරට ඇදීමත්, දැනුම සොයා ගොස් බටහිරම නතර වීමත් තව චිරාත් කාලයක් සිදුවනු ඇත.


පින්තූරය උපුටා ගත්තේ http://llenrock.com/blog/top-10-cre-books/
Read More 9 comments | Posted by නේෂාධ පෙරේරා |

මැක්ඩොනල්ඩ්ස් සහ දිළිඳු බවේ විෂම චක්‍රය


මැක්ඩොනල්ඩ්ස් යනු ඇමරිකාවේ ඇති ප්‍රමුඛ පෙලේ ක්‍ෂණික ආහාර වෙලඳ සැල් ජාලයකි. දැන් තත්වය කෙසේදැයි මා හරියටම නොදන්නා නමුත්, මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ ආරම්භ කළ මුල් කාලයේ එය සල්ලිය බාගේ යහමින් තියන අය නිතර යන එන තැනක් බවට පත් වුන බව මට මතකය. මැක්ඩොනල්ඩ්ස් පමණක් නොව,  KFC හා පීසා හට්හි ද තත්වය මෙලෙසම විය. පසු කාලීනව ඒ අවන්හල් තම මෙනු දේශීයකරණය කරමින් වැඩි දෙනා යන එන තැන් බවට පත් කර ගැනීමේ වෑයමක නිරත වුන බව මට මතකයි. ඒ මොනවා වුනත් තවමත් ලංකාවේ මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසා හට් වගේ අවන්හල් ඉහළ මධ්‍යම පාන්තිකයන් (සිංහලෙන් කියනවානම් ටිකක් පොෂ් අය) නිතර ගැවසෙන තැනක් බව රහසක් නොවෙයි. ඒකට හේතුව මේ අවන්හල්වල මිල ගණන් සහ බොහෝවිට ඒවා කොලඹ තදාසන්න ප්‍රදේශ වලට පමණක් සීමා වීම වෙන්න ඇති.

ඇමරිකාවේදී නම්, මැක්ඩොනල්ඩ්ස් වන්දනාමාන කරන්නේ අපි වාගේ අන්ත දුප්පතුන්ය. පොහොසතුන්ට නම් මැක්ඩොනල්ඩ්ස් යෑම ලැජ්ජාවට කාරණයකි. ඇමරිකාවේදී මම ශිෂ්‍යයෙකු නිසාත්, මගේ ශිෂ්‍ය වීසාව නිසා මගේ විශ්වවිද්‍යාලයෙන් දෙන සොච්චම් දීමනාවට අමතරව වෙනත් කිසිදු ආකාරයේ මුදල් ඉපැයීමක් "නීත්‍යානුකූලව" කරන්නට නොහැකි නිසාත්, මා අයත් වනුයේ දුප්පතුන්ගෙනුත් දුප්පත් ගොඩටය. සාමාන්‍යයෙන් ඇමරිකාවේ හොඳ හෝටලයකින් කෑම වේලක් ගැනීමට කෙනෙකුට සාමාන්‍යයෙන් $10 සිට $25 දක්වා මුදලක් වැය වේ. නමුත් මැක්ඩොනල්ඩ්ස් ආපන ශාලාවකින් නම් සාමාන්‍යයෙන් $2 සිට $6 දක්වා ගණනකට බඩ පිරෙන්න කෑ හැකිය. එබැවින් මැක්ඩොනල්ඩ්ස් යනු දුප්පතුන්ගේ පාරාදීසියකි. KFC, පීසා හට් වගේ අවන්හල්ද මේ ගොඩටම වැටේ. මේවාට යන එන අය අතර බොහෝ විට පොදුවේ දැකිය හැකි දෙයක් නම් අධික තරබාරු බවයි. මෙම ආපන ශාලාවල ඇති ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන, මේදය සහ සීනි අධික ඒවා වන අතර, එම ආහාර නිතර පරිභෝජනය නොයෙකුත් රෝගාබාධ වලට මග පාදයි.

බොහෝවිට ශරීර ප්‍රමාණයෙන් කෙනෙකුගේ ආදායම් මට්ටම ගැන දළ අවබෝධයක් ලබා ගත හැක. බොහොම ලස්සනට හා කෙට්ටුවට සිටින ඇමරිකානුවන් බොහෝ විට ඉහළ අදායම් ලබන්නන් වන අතර, අධික තරබාරු අය බොහෝවිට අඩු ආදායම් ලබන්නන් වෙයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන අවස්ථාද නැත්තේ නොවේ. මේ රූපයේ සිටින කාන්තාව අන්තර්ජාලයෙන් සොයාගත් තැනැත්තියක නොව මා විසින්ම ඡායාරූපගත කරන ලද තැනැත්තියකි. මා ජීවත් වන නිවාස සංකීර්ණයේ පැවති සුහද හමුවකදී හමු වූ ඇය දැකීමෙන් අප අතර සිටි කිහිප දෙනෙකුටම ඔක්කාරය ඇති වූවත්, මට නම් ඇති වූයේ පහන් සංවේගයකි. විශ්වවිද්‍යාල සිසුන් වැඩිදෙනා වෙසෙන අඩු මිල නිවාස සංකීර්ණයක වෙසෙන ඇය, තම සහකරු (සැමියා නොවේ) සමග එකට ජීවත් වේ. ඇයගේ මෙම විකෘති දේහ විලාසය බොහෝවිට ඇයගේ ආහාර පාන නිසාම ඇති වූවක් විය හැකිය. එම නිසාම හරි හමන් රැකියාවක නිරත වීමේ අවස්ථාව ඇයට අහමි වී ඇති අතර එම නිසාම ඇයගේ ආදායම් තත්වය සීමා වී ඇත. එම අඩු ආදායම නිසාම ඇයට ගත හැක්කේ ගුණාත්මක බවින් අඩු ආහාර පානයි. මෙය දිළිඳු බවේ විෂම චක්‍රයේ ඇමරිකානු සංස්කරණයයි.
Read More 7 comments | Posted by නේෂාධ පෙරේරා |

විශ්වාසය එහෙ සහ මෙහෙ

පසුගිය යැංකි කථාවේදී ඇමරිකාවේ නොදන්න නීතිය ගැන කථා කරන්න ගිහිල්ල මම ඇණ ගත්තනේ. අද ඒ ඇණ ගැනිල්ලට පාදක වෙච්ච කථාව කියන්නයි යන්නේ.



ලංකාවෙදී බැංකුවක් එක්ක ගනුදෙණු කරලා තියෙන අය දන්නවා ඇති කවුන්ටරෙන් සල්ලි ගන්න එක තරමක රස්තියාදු වෙන වැඩක් කියලා. මුදල් හරපත බැංකුවේ අයකැමි වෙත තම ජාතික හැඳුණුම්පතත් එක්ක බාර දුන්නහම, අයකැමි ඒකෙ තියන අත්සන දහ අතේ පරීක්ෂා කරලා බලනවා. ආපසු ගන්න මුදල ටිකක් වැඩි එකක් එහෙම නම්, කළමනාකරු ගේ අත්සන එහෙමත් ඕන වෙනවා. ගිණුම එම බැංකුවේම වෙනත් දුර බැහැර ශාඛාවක එකක් නම්, සමහරවිට මුදල් ආපසු ගන්න ලැබෙන්නෙ ගිණුම අයත් ශාඛාවෙන් ෆැක්ස් පතක් මගින් එම ගිනුම් හිමියා පිළිබඳව තහවුරු කළ පසුව පමණයි. කොටින්ම කියනවනම්, ගිණුම් හිමියා ලොකු වංචාවක් හරි හොරකමක් හරි කරන්න යන ගානට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නෙ. මම මේ විස්තර කලේ මට පෞද්ගලිකවම ලංකාවේ නමගිය රාජ්‍ය බැංකුවකදී අත්විඳින්නට සිදුවූ සිදුවීම් සමුදායකුයි. සමහරවිට පෞද්ගලික බැංකුවල ප්‍රතිපත්ති මීට වඩා වෙනස් ඇති. නමුත් තම ගණුදෙණුකරුවා කෙරෙහි බැංකු දක්වන ආකල්පය නම් අඩු වැඩි වශයෙන් එලෙසම බවයි මගේ හැඟීම.

මීට සමානම අත්දැකීමක් මට මා සේවය කළ (තවමත් කරන) විශ්වවිද්‍යාලය තුලදී අත්දකින්නට ලැබුණා. ඒ තමයි විභාග පැවැත්වීමේදී පනවන නීති රීති සමුදාය. අදාල දේශකයා විසින් සකස් කරන ප්‍රශ්න පත්‍රය තවත් අයෙකුගේ අධීක්ෂණයෙන් පසු ඉතාමත් රහසිගත ලෙස මුද්‍රණය කොට මුද්‍රා තබනු ලැබේ. ඉන්පසු, විභාග දිනයේදී විභාග ශාලාවේදී තවත් සිසුන් දෙදෙනෙකුගේ අත්සන් ලබාදෙන ඔවුන් ඉදිරියේ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවේ මුද්‍රා කඩා විභාග ශාලා පරීක්ෂක හමුදාවක් ඉදිරියේ විභාගය පවත්වනු ලැබේ. මෙහිදී, එක් එක් සිසුන්ට විශ්වවිද්‍යාලයේ අන් සියළු කටයුතු වලට භාවිතා කරන තම ශිෂ්‍ය පරිශීලක අංකයෙන් (Student Registration Number ) සම්පූර්ණයෙන්ම වෙනස් වූ විභාග අංකයක් (Index Number) ලබාදෙනු ලැබේ. පිළිතුරු සැපයීමෙන් අනතුරුව, එම උත්තර පත්‍ර පලමු වර ඇගයීම සඳහා අදාල විෂය ඉගැන්වූ දේශකයා හටත්, ඉන් පසුව දෙවන වර ඇගයීම සඳහා බාහිර පරීක්ෂකයෙකු වෙතත් යොමු කරනු ලබයි. චිරාත් කාලයක් ගතවීමෙන් අනතුරුව, එම විභාග ප්‍රථිඵල පීඨ සභා (Faculty Board) ගත කොට, දෙවෙනි සභා වාරයේදී තහවුරු කොට ඉන් පසුව සෙනෙට් සභා (Senate) ගත කොට, එහිද ඊලඟ සභා වාරයේ නැවත කියවීමෙන් පසුව නිල විභාග ප්‍රථිඵල බවට පත් වෙයි. බැරි වෙලාවත් පුංවි හරි කොල කෑල්ලක් හරි ශිෂ්‍යයෙකු ලඟ තිබිලා අහු වුනොත්, එම ශිෂ්‍යයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වලා, ඊට දිය හැකි උපරිම දඬුවම ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය වග බලා ගන්නවා. මේ සියළු ක්‍රියා දාමයන් සිදු වන්නේ විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්ය මණ්ඩලය වංචා කරන්නට තැත් කරන්නේ යැයි පූර්ව නිගමනයකට එළඹී ඇතිවාක් මෙනි.

යැංකි රටේ මේ අවස්ථා දෙකම මීට හාත්පසින්ම වෙනස්ය. බැංකුවකින් මුදල් ආපසු ගන්නට අත්සන පමණක් තිබීම හොඳටම සෑහේ. එමෙන්ම, තරමක් ලොකු ගණනක් ආපසු ගන්නා විට කුමක් හෝ හැඳුණුම්පතක් (ශිෂ්‍ය හැඳුණුම්පත වුවද) සෑහේ. අන්තර්ජාලය තුලින් ඉලෙක්ට්‍රෝනික චෙක් පතක් මගින් ගෙවීම් කිරීමට බැංකු ගිණුම් අංකය සහ බැංකු මාර්ගගත අංකය (Routing Number) භාවිතා කිරීමෙන් එය කළ හැකිය. ණය කාඩ්පත් (Credit Card) හෝ හර කාඩ්පත් (Debit Card) මගින් ගෙවීම් කිරීමේදී, කිසි විටෙකත් අත්සන් එකිනෙක සසඳා බැලීමක් සිදු නොකෙරෙයි. කොටින්ම කිව්වොත් අනෙකාගේ බැංකු ගිණුම් අංකය ඇස් පනා පිටම පෙනි පෙනීත්, කිසිවෙකු හොරකම් නොකරන ගානට තමයි වැඩ සිද්ධ වෙන්නෙ. තවත් විදියකට කියනවානම්, ගණුදෙණුකරුවා ගැන පූර්ණ විශ්වාසයකින් තමයි මෙහෙ බැංකු වගේම අනෙකුත් ආයතනත් කටයුතු කරන්නෙ.

විශ්වවිද්‍යාලයේදී විභාගයකදී, මහාචාර්යවරයා හෝ මහාචාර්යවරිය කොලයක තමන්ගේ අත් අකුරින් කුරුටු ගා (ටයිප් කරන්න අකමැති අය) ඡායා පිටපත් කරගත් ප්‍රශ්න පත්‍ර ටික තමන්ම ගෙනවිත් එදිනෙදා දේශන පවත්වන පන්ති කාමරය තුලදීම සිසුන්ට බෙදා දෙනවා. සිසුන් ඊට පිළිතුරු ලියන අතරතුර සමහරවිට තමන්ගේ කෝප්පයේ කෝපි ඉවර නම් සමහරවිට කෝපි එකක් වක්කරගෙන එන්න ශාලාවෙන් බැහැරව යන්නත් මේ තාවකාලික විභාග ශාලාවට ඉන්න එකම පරීක්ෂක වරයා වන අර මහාචාර්ය වරයා පසුබට වෙන්නේ නැහැ. සමහර මහාචාර්ය වරුන් තමන්ගේ සිසුන්ට විභාගයට එනකොට තමන්ට අවශ්‍ය කරුණු ලියාගත් කොලයක් ගෙන ඒමටත් අවසර දෙනවා. විභාගය අවසානයේ ඊට පසු දින හෝ දින දෙක තුනකට පසු තම තමන්ගේ ප්‍රථිඵල විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියට තමන්ගේ පරිශීලක පදය හා මුර පදය ඇතුලත් කර පිවිසෙන සිසුන්ට දැකගත හැකියි. සිසුන් හා ආචාර්ය මණ්ඩලය පිළිබඳව එතරම්ම විශ්වාසයකිනුයි ඇමරිකාවේ විශ්වවිද්‍යාල බලධාරීන් ක්‍රියා කරන්නේ. ලංකාවේ විශ්වවිද්‍යාලවල විභාග බොහෝවිට සිසුන් අසමත් කිරීම උදෙසාම සැකසූ ඒවා වුනත්, ඇමරිකාවේදී ඒවා සිසුන් කොතරම් කොතරම් දේවල් මතක තබාගත්තාද යන්න විමසීමට වඩා සිසුන් කොතරම් හොඳින් කරුණු කාරණා අවබෝධ කර ගත්තාද යන්න විමසීම උදෙසා සැකසෙයි.

ඉතින් මම මේ නිරීකෂණය කවුරු හරි මගේ හිතවතෙකුට පැවසූ විට ඔහුගේ මතය වූයේ, එහෙම වුනාට කවුරු හරි මෙහෙ වැරැද්දකට අහු වුනොතින් තත්වය බරපතල බවයි. ඒක අහපු මම එලඹුණු පූර්ව නිගමනය තමයි, ඇමරිකාවේදී කෙනෙක් පිළිබඳව කොතරම් විශ්වාසය තැබුවත්, එම පුද්ගලයා වැරද්දකට චෝදනා ලැබුවහොත්, ඔහු තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන තෙක් වැරදිකරුවෙක් බවට නීතිය ඉදිරියේ පිළිගැනෙනවා කියන එක. නමුත් ඒක සහමුලින්ම වැරදියි. අධිකරණයකින් වැරදිකරුවෙක් කරන තෙක් චූදිතයා නිර්දෝෂී බව මේ රටේත් පිළිගැනෙනවා. මගේ හිතවතා අදහස් කරලා තියෙන්නේ මෙහෙ දඬුවම් සැර වැඩි බවයි. මෙහෙ තාමත් ප්‍රාන්ත 37 ක මරණ දණ්ඩනය පැනවෙනවා. ඒ බොහෝවිට විෂ ශරීරගත කිරීම මගිනුයි.

මූලාශ්‍ර:

  • http://en.wikipedia.org/wiki/Capital_punishment_in_the_United_States#Methods
  • http://www.usconstitution.net/constnot.html#innocent
Read More 4 comments | Posted by නේෂාධ පෙරේරා |

බනානා රිපබ්ලික් හෙවත් කෙසෙල් සමූහාණ්ඩුව


කලින් සැරේ මං ඇමරිකානුවෝ තමන්ගෙ ඉතිහාසය ගැන පම්පෝරි ගගහ විතරක් ඉන්නෙ නැතුව රට දියුණු කරල තියෙන බව කිව්වනේ. එහෙම දියුණු කරල තියෙන ක්‍රමයේ ඇති සදාචාරාත්මක බච නම් ටිකක් ගැටළු සහගතයි. ඇමරිකාව කියන්නෙ පුදුමාකාර නිදහසක් තියෙන රටක. හැබැයි ඒ පවතින නීති රාමුව ඇතුලෙ. නීති කැඩුවොත්, කෙලින්ම මහ උළු ගෙදර (එහෙම කීවට ඒවයෙ උළුද දන්නෑ සෙවිලි කරල තියෙන්නෙ) තමයි. ලංකාවෙ නීතියට අනුව නම් පුද්ගලයෙක් අධිකරණයකින් වැරදි කරුවෙක් බචට ඔප්පු කරන තෙක් එම පුද්ගලයා නිර්දෝෂී ලෙසයි සැලකෙන්නෙ. නමුත් මෙහෙ තත්වය ටිකක් වෙනස්. කෙනෙකුට චෝදනාවක් එල්ල වුනොත්, තමා නිවැරදි බච අධිකරණය ඉදිරියේ චූදිතයා විසින් ඔප්පු කළ යුතුයි. ජාතික ආරකෂාවට තර්ජනයක් වෙන දෙයක් එහෙම කරල අහු වුනොත්, ඒ පුද්ගලයා කිසි දිනක මේ ලෝකයේ සිටිය නැති විදිහට අතුරුදහන් කරන්න වුනත් මෙයාලට පුළුවන්. (මේව ලියලා මාත් අතුරුදහන් වෙයිද දන්නෑ) ලෝකයේ ඕනෑම රටක් ඇමරිකාවට එරෙහිව මොනවා හරි කරනවා නම්, ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගන්න පුළුවන් ආයතන මේ රටේ තියෙනවා. හොඳම උදාහරණය තමයි ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA).

අපේ අයත් ඔය නිතරම කෑ ගහන බටහිර ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙච්ච අවස්ථා ඕන තරම් ඉතිහාසයේ දකින්න පුළුවන්. රුසියානු සමූහාණ්ඩුව සමග සීතල යුද්ධයක් පැවති කාලයේ පටන් අද දක්වා මෙවැනි කුමන්ත්‍රණ කෙරෙමින් පවතිනවා. ලෝකයේ අනෙක් රටවල් අස්ථාවර වෙන තරමට, ඇමරිකාවට තමන්ගේ සුපිරි බලවතා ගේ තත්වය පවත්වාගෙන යන්න ලේසියි. ඉතින් අපේ මේ පුංචි දිවයිනටත්, මේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ බැල්ම වැටිලා තියෙන්න පුළුවන්.

ඉතින් අපේ අයට තියෙන්නේ ඇමරිකානු කුමණ්ත්‍රණ ගැන කෑ ගගහ ඉන්නෙ නැතුව, දෙයියනේ කියලා තමන්ගෙම කුමන්ත්‍රණ මාලාවක් පටන් ගන්න. ඒක හැබැයි එක පාරටම කරන එක ලේසි වෙන එකක් නැහැ, මොකද අපි තාමත් ඇමරිකාව තරම් බලවත් නැති නිසා. හොඳම වැඩේ තමයි ඉස්සර වෙලාම ඔය පොඩි බනානා රිපබ්ලික් එකක් තෝරා ගන්න එක. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා මොකාක්ද මේ බනානා රිපබ්ලික් එකක් එහෙමත් නැත්නම් කෙසෙල් සමූහාණ්ඩුවක් කියන්නේ කියලා.



බනානා රිපබ්ලික් කියන්නේ ඇත්තටම, එතරම් ස්ථාවර නැති රජයක් තියෙන, බොහෝවිට කෘෂිකර්මය මත පදනම් වුනු ආරථිකයක් තියෙන, දූෂිතයින් පිරිසක් විසින් පරිපාලනය ගෙනයන කුඩා රටක් හැඳින්වීමට යොදන උපහාසාත්මක යෙදුමක්. මේ යෙදුම කරළියට එන්නෙ ඇත්තටම එක්දහස් නවසිය ගනන් වල මුල භාගයේ, ඇමරිකාවේ ආර්ථිකයේ ප්‍රබල ස්ථානයක් ගත් දුම්රිය සමාගම් කෙසෙල් වෙලඳාමට යොමු වීමත් සමගයි. නිවර්තන පලතුරක් වන කෙසෙල් ඇමරිකාවට හඳුන්වා දීමත් සමගම සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා. මේ නිසා, මේ දුම්රිය සමාගම් කරපු වැඩේ තමයි මධ්‍යම ඇමරිකාවේ තියන හොන්ඩුරාස්, ගෝතමාලා වගේ රටවල් වල ඉඩම් කුණු කොල්ලයට අරගෙන, එම රටවල මිනිස් ශ්‍රමයත් තුට්ටු දෙකට අරගගෙන කෙසෙල් වගා කරපු එක. ඒ සඳහා ඒ රටවල දූෂිත පාලකයන්ගෙන් ඔවුන්ට ලැබුණේ නොමඳ සහයක්. එහෙම වවපු කෙසෙල් වලින් 1000% ලාභයක් උපයා ගන්න මේ සමාගම් ඒ කාලයේ සමත් වුනා කියලයි විකිපීඩියා විශ්වකෝෂයේ නම් තියෙනනේ. එදා ඒ ආරම්භ කරපු සමාගම් අද දක්වාත් පලතුරු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිපැයීමේ නිරත වෙලා ඉන්නවා.

ඉතින් අපිත් මේ වගේ වැනෙන සුළු රටක් හොයාගෙන (මාලදිවයින වගේ) අපිට ඕන විදිහට නටවන්න පටන් ගත්තොත් අපිටත් ටික කලක් යනකොට බලවත් රටක් වෙන්න සුදුසුකම් ලබාගන්න පුළුවන් වෙයි. හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ නටවන්න ගිහින් අන්තිමට අපි නැටවෙයිද කියන එකයි. මොකද ඔය බනානා රිපබ්ලික් එකක ලක්ෂණ බොහොමයක් අපේ රටෙත් තියනවා වගේ මට දැනෙනවා.

පින්තූරය උපුටා ගත්තේ http://meta.wikimedia.org/wiki/File:Banana_republic.svg සහ http://sugarnspiceblog.wordpress.com/2009/04/21/tuesday-starting-to-feel-better/ කියන තැන්වලිනුයි.
Read More 6 comments | Posted by නේෂාධ පෙරේරා |

ඇමරිකාවේ ලඝු ඉතිහාසය සහ අපේ දිගු ඉතිහාසය

ඇමරිකානුවන්ට එතරම් දීර්ඝ ඉතිහාසයක් නැත. හරියටම කියනවානම් ඔවුන් ගේ ඉතිහාසය පටන් ගන්නේ ක්‍රි. ව. 1493 දී ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඉන්දියාව යැයි සිතා වැරදීමකින් ඇමරිකාවේ ප්‍රධාන භූමිය අසල පිහිටි පෝටරිකෝ නැමති දූපතට ගොඩ බැස්ස දා පටන්ය. එතැන් පටන් වසර පන්සියයකට මදක් වැඩි කාලයක් තුල ඔවුන් ලොව ප්‍රමුඛතම හා ප්‍රබලතම ජාතිය බවට පත් වී හමාරය. එසේ වූ ආකාරයේ ඇති සදාචාරාත්මක භාවය පිළිබඳව අපි වෙනම කථා කරමු. කෙක්කෙන් හෝ කොක්කෙන් එය එසේ කර ගැනීමට ඇමරිකානුවන් සමත්  වී ඇත.

ඔවුන්ගේ ඉතිහාසයේ ඇති මේ ලඝු බව නිසාම, කෙනෙකුට ප්‍රසිද්ධියේ අධෝ වාතයක් පිටවීම වුවද මහා වැදගත් ඓතිහාසික කරුණක් ලෙස දැකවීමට ඔවුන් පුරුදුව සිටී. තම කෙටි ඉතිහාසය පිළිබඳව මහත් ප්‍රෞඩත්වයකින් කථා කිරීමට ඔවුන්ට හැකිය. නමුත් මාදකින පරිදි මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ කයිවාරු ගැසීමෙන් පමණක් නොනැවතී, තම ජාතිය ලොව අනෙක් ජාතීන් අතර උසස් තැනකට ගෙන ඒමට ඔවුන් සමත්වී සිටීමයි.

ශ්‍රී ලාංකික අපට ඇමරිකාව මෙන් පස් ගුණයකටත් වඩා දිගු ඉතිහාසයක් තිබේ. එය ලොව ඇති දිගුම ලිඛිත ඉතිහාසය යැයි උදම් අනන්නෝ මට හමුවී තිබේ. එම ඉතිහාසය තුල අපට නොයෙකුත් වීර චරිත හමු වේ. ඔවුන්ගේ වීර ක්‍රියා, ඇමරිකානු ඉතිහාසයේ එන වීරයන්ගේ වීර ක්‍රියා මෙන් නොව සැබෑ වීර ක්‍රියා බව අවිවාදයෙන්ම පිළිගත යුතු වේ. පුරා විද්‍යා කැණීම් මගින් මතු කරගෙන ඇති ඓතිහාසික නටඹුන් වලින් හෙළිවන අතීත ශ්‍රී විභූතිය දෙස් විදෙස් සිත් මවිත කරවන සුළුය. එවන්වූ මහානර්ඝ ඉතිහාසය පිළිබඳව අපිද තොරතෝංචියකින් තොරව උදම් අනනු දැකිය හැකිය. එහි ඇති වරදක්ද නැත. නමුත් ප්‍රශ්නය වන්නේ, කයිවාරු ගැසීමෙන් පමණක් නොනැවතී අප ජාතිය ලොව අනෙක් ජාතීන් අතර ඉදිරියට ගෙන ඒමට අප කර ඇත්තේ කුමක්ද යන්නයි.

මේ ප්‍රශ්නයට උත්තරයක් මම පසුව සටහනකින් සාකච්‍ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකන් කුමාරතුංග මුනිදාස ශූරීන් ලියපු මේ කවි පදය ගැන හිතන්නට මම ඔබට බාර කරමි.

අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී
හිඟා කෑම බැරි වුණ තැන ලඟී ගයා මර ගී

පින්තූරය: ඇමරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ අභාවයෙන් පසු ඇඳි ආලේඛ්‍ය චිත්‍රයක්. ඔහු ජීවත්ව සිටියදී ඇඳි ආලේඛ්‍ය චිත්‍ර නොමැති බවයි පැවසෙන්නෙ. පින්තූරය උපුටා ගත්තේ විකිපීඩියා විශ්වකෝෂයෙනි.
Read More 2 comments | Posted by නේෂාධ පෙරේරා |
  • මා ගැන...
      මා යැංකිවරුන් ගේ දේශය හෙවත් ඇමරිකාවට පැමිණියේ 2009 වසර උදාවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දීය. ඒ පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දැනට වෙසෙන්නේ යැංකි රටේ ටෙක්සාස් (Texas) කියන ප්‍රාන්තයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ලබක් (Lubbock) කියන නගරයේය. මගේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ආසා නම්, මෙන්න මෙතන ක්ලික් කොරන්ට.
  • පරණ කථා

    • ▼ 2010 (6)
      • ▼ April (2)
        • ගෙඹි පැටියෝ ඔයයි මමයි
        • දැනුම සොයා බටහිරට...
      • ► March (4)

    ලේබල

    • KFC (1)
    • ආකල්ප (1)
    • ඇමරිකානු ඉතිහාසය (2)
    • කෙසෙල් (1)
    • කෙසෙල් සමූහාණ්ඩුව (1)
    • ක්‍රිස්ටෝපර් කොලොම්බස් (1)
    • දැනුම (2)
    • දිළිඳු බවේ විෂම චක්‍රය (1)
    • දුප්පතුන් (1)
    • පර්යේෂණ (2)
    • පීසා හට් (1)
    • බටහිර (1)
    • බනානා රිපබ්ලික් (1)
    • බැංකු (1)
    • මරණ දණ්ඩනය (1)
    • මැක්ඩොනල්ඩ්ස් (1)
    • විභාග (1)
    • විශ්වාසය (1)
    • වෘත්තිය (1)
    • වෛද්‍ය (1)
    • සමාජය (1)

    කථා අහන අය

    යැංකි කතා's Fan Box

    යැංකි කතා on Facebook
  • සොයන්න






    • මුල් පිටුව
    • සටහන් RSS
    • ප්‍රතිචාර RSS

    Creative Commons License යැංකි කතා by නේෂාධ පෙරේරා is licensed under a Creative Commons Attribution - Noncommercial - No Derivative Works 3.0 Unported License.
    Designed by FTL Wordpress Themes | Bloggerized by FalconHive.com | brought to you by Smashing Magazine

    පිටුවේ මුලට