ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය ආදී යුග ගණනාවක් පසු කළ මිනිස් ඉතිහාසයේ මේ ගෙවී යන්නේ දැනුම යුගය බවට විවිධ මත පළවේ. මේ පිළිබඳව මීට ඉහත යැංකි කතාවකදීත් මා සඳහන් කළෙමි. ලොව ප්රමුඛ පෙලේ රටවල් අතරට ඒමට නම්, අප දැනුමින් පොහොසත් විය යුතු බවත්, ඒ සඳහා අප ඉදිරියේ ඇති ප්‍රශ්න කිහිපයකුත් ඉදිරිපත් කරමින් මා එම සටහන අවසන් කළෙමි. මා නැඟූ එක් ප්‍රශ්නයක් වූයේ, අප රටේ පර්යේෂණ කටයුතු නංවාලීමට රජය විසින් ඉටු කරන කාර්ය භාරය කුමක් ද යන්නයි. නමුත් වඩා වැදගත් ප්රශ්නය වන්නේ එය නොව ශ්‍රී ලාංකිකයන් වන අප, ඒ සඳහා ඇවැසි ආකල්පමය වෙනස ඇති කර ගන්නේ කෙලෙසද යන්නයි.
දැනුම පාදක කරගත් සමාජයකට අඩිතාලම වැටුනේ මීට දශක කිහිපයකට පෙරයි. අද ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට නොවිඳිනා දුකක් නැත. ලාංකික දෙමාපියන් වැඩිපුරම තම ධනය හා කාලය ආයෝජනය කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. දිවයිනේ ජනප්‍රිය පාසලකට (බොහෝ විට ජාතික පාසලකට) පළමු වසරේදීම තම දරුවා ඇතුලත් කරවා ගන්නට පදිංචිය වෙනස් කිරීමටත්, තම කනකර උගස් කර හෝ දහසින් බැඳි පියලි අල්ලස් ලෙස පුද කරන්නටත් නොපැකිලෙන දෙමාපියන්, පළමු වසරේ සිටම තම දරුවා ටියුෂන් පන්ති කන්දරාවක් කරා දක්කා ගෙන යයි. සෑම දෙමාපියෙකුටම ඇවැසි වන්නේ තම දරුවා කෙසේ හෝ අවසානයේ දොස්තර කෙනෙකු, ඉංජිනේරුවකු, නීතීඥයකු වැනි සමාජයේ ඉහල පෙලේ රැකියාවක් කරන අයෙකු කිරීමටයි. (දැන් දැන් නම් තම දරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීමට වෙහෙසෙන දෙමාපියන් ගැනද, සුපර් ස්ටාර්ලා කිරීමට වෙහෙසෙන දෙමාපියන් ගැනද අසන්නට ලැබේ). ඒ සඳහා ලංකාවේ බැරිනම් රුසියාවේ, ඉන්දියාවේ හෝ වෙනත් රටක හෝ විශ්වවිද්‍යාලයකට තම දරුවා යොමු කිරීමට තරමක් ඇති හැකි දෙමාපියෝ පෙලඹෙති. ජීවිත කාලයක් පුරාවටම හරි හම්බ කරපු සබ්බ සේසතම වුවත් ඒ සඳහා වැය කිරීමට ඔවුන් පසුබට නොවේ. දෙමාපියන්ගේ පැත්තෙන් බලන විට එහි ඇති වරදක් නැත. මන්ද සෑම දෙමාපියකුම වෙහෙසෙනුයේ තම දරුවා සමාජයේ ඉහළම තලයේ වැජඹෙනු දැකීමටය. මේ අතරින් තම දරුවා වෛද්‍යවරයකු කිරීමට තැතනීම පිළිබදව අපි සොයා බලමු. අනෙක් වෘත්තීන් පිළිබඳවද මේ අයුරින්ම කරුණු කාරණා යෙදී ඇති බැව් ඒ පිළිබඳව සොයා බලන්නෙකුට වැටහෙනු ඇත.
තම දරුවා කෙසේ හෝ වෛද්‍යවරයකු කරවීමේ දෙමාපියන් තුල ඇති වුවමනාව පසුපස ඇති පෙළඹවීම කුමක්ද? මෙයට පිළිතුරු සොයන විට අපට හේතු කිහිපයක් හමු වේ. මේවා මේ සඳහා හේතු විය හැකි කරුණු ලෙස මට වැටහුණු කරුණුය. මීට අමතර හේතු ද තිබිය හැක.
- වෛද්‍ය වෘත්තිය ලොව ඇති උතුම්ම සහ වැදගත්ම වෘත්තිය බවට ඇති සමාජ පිළිගැනීම - මෙය අවිවාදයෙන්ම සත්‍යය.
- වෛද්‍ය වෘත්තිය යහමින් මුදල් උපයා ගත හැකි වෘත්තියක් වීම - මෙය ලංකාවේ පමණක් නොව යැංකි රටේද එසේමය. නමුත් ඊටත් වඩා උපයා ගත හැකි වෘත්තීන් ලොව ඇත. තවද යහමින් මුදල් ඉපයීමට හැම වෛද්‍යවරයාටම නොහැක. ඒ සඳහා පෞද්ගලික ප්රථිකාරවල නිරත වන ජනප්‍රිය වෛද්‍යවරයකු විය යුතුය.
- තම නෑසියන්ගෙන් කෙනෙකුගේ පවුලේ දරුවකු හෝ අසල්වැසියාගේ දරුවකු වෛද්‍යවරයකු වීම හෝ වීමට සිහින දැකීම
- දෙමාපියන් වෛද්‍යවරුන් වීම
- මේ කිසිම බලපෑමකින් තොරව දරුවාගේ ස්ව කැමැත්තෙන්ම වෛද්‍යවරයකු වීම.
මෙයින් කිහිපයක් මගේ පෞද්ගලික අත්දැකීම් වන අතර, පස්වැනියට දක්වා ඇති හේතුව මත වෛද්‍ය වෘත්තියට පිවිසී සිටින්නෝද බහුල බව මම අත්දැකීමෙන් දනිමි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍යවරයකු විය හැක්කේ ඉතා සීමිත පිරිසකට බවත්, එම පිරිස, ලාංකීය දරුවන් අතර ඉහළම බුද්ධි මට්ටමේ ඇති අය බවද අවිවාදයෙන් යුතුවම පිළිගත යුතුය. වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන්නේ අ. පො. ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළම ලකුණු ලබාගත් 900 - 1000 අතර පිරිසකි. එබැවින් එම පිරිස, අප රටේ බුද්ධිමතුන් අතර සාරය ලෙස ගත හැකිය. තම තරුණ වියෙන් සැලකිය යුතු කාලයක් ඒ සඳහා ඔවුන් වැය කරති. ප්රශ්නය වන්නේ මොවුන් වෛද්‍යවරුන් වීම නොවේ. මෙසේ වෛද්‍යවරුන් බවට පත්වන රටේ ඉහළම බුද්ධිමතුන්ට ඉන් පසුව සිදු වන්නේ කුමක්ද යන්නය?
උදෑසනම අවදි වී තම පෞද්ගලික සායනයේ වැඩට යන වෛද්‍යවරයා පැය කිහිපයකින් පසුව තමා අනුයුක්ත කර ඇති රෝහලේ සේවයට වාර්තා කරයි. රෝහල් සේවය අවසන් වී නැවතත් පෞද්ගලික සායනයට යන හෙතෙම සමහර විට මැදියම් රැය වන තෙක් එහි ගත කරයි. ඉන්පසු තවත් තමන් වැනිම දින පුරාම වෙහෙස වී හෙම්බත් වුනු තම වෛද්‍ය සගයන් කිහිප දෙනෙක් සමග එක්වී මධු විතක් තොල ගා ගෙදර විත් නින්දට වැටෙයි. මේ මා දන්නා එක් වෛද්‍යවරයකු ගේ (ඇත්තෙන්ම වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම) දින චරියාවයි. එසේ නොවන අයද බොහෝ සිටින බව මම දනිමි. විශේෂයෙන් අවසාන පියවර අනුගමනය නොකර කෙලින්ම නින්දට යන්නෝ බොහෝය. සමස්තයක් ලෙස ගතහොත් බොහෝ වෛද්‍යවරුන් ගත කරන්නේ ඉතා යාන්ත්‍රික ජීවිතයකි. ඔවුන් අතරින් විද්‍යාත්මක පර්යේෂණ වල නිරත වන, නව දැනුම උත්පාදනය කරන අය ඇත්තේ කී දෙනාද යන්න මා හරියටම නොදනිමි. නමුත් ඒ ගනන අතේ ඇඟිලි වලින් ගිනිය හැකි තරම් කුඩා බැව් පැහැදිලිය. එක්තරා විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් ලංකාවේ තම පර්යේෂණයට අදාල විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඔහුගේ දැනුම, දශකයකින් පමණ පැරණි යැයි පැවසූ බව මා අසා ඇත්තෙමි. එම ප්‍රකාශය තුල මේ මුළු සටහනේම සාරය ගැබ්ව ඇතැයි මට හැඟේ.
මෙම තත්වය පොදු වන්නේ වෛද්‍ය වෘත්තියට පමණක් නොවේ. ඉංජිනේරුවන්, නීතීඥයන්, ගණකාධිකාරීවරුන්, පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරුන් සියලු දෙනා අවසානයේ තම ඒකාකාරී වෘත්තීමය ජීවිතයට කොටු වී කල් ගෙවති. මා දන්නා පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරයකු වරක් පැවසූයේ, හම්බ කරන මුදලවත් වියදම් කිරීමට විවේක කාලයක් නැති බවයි. පවතින අධ්‍යාපන රටාව තුල, රටේ ඇති හොඳම මොල ටික ඒකාකාරී, යාන්ත්‍රික ජීවිතයකට කොටු කර දැමීම රටක් වශයෙන් අපට ඇති මහඟු සම්පතක් අපතේ හැරීමකි.
මේ අතරින් සියයට දහයක වත් පිරිසක්, තම තමන් නිරත වන කෂේත්රයේ පර්යේෂණ කටයුතු වලට දායක වෙන පර්යේෂකයින් ලෙස ක්‍රියා කරනවා නම්, දැනුම පිළිබඳව බටහිරට ඇති ගැති බවින් මිදී රටක් වශයෙන් ඉදිරියට යාමට අපට හැකි වනු ඇත. මේ සඳහා සුවිශේෂීම කාරය භාරය පැවරෙනුයේ, අද දවසේ පාසල් යන වයසේ දරුවන් සිටිනා දෙමාපියන්ටය. තම දරුවා ලමා මනසට ඔරොත්තු නොදෙන තරම් වූ ඉලක්කයක් හඹා යන්නේකු බවට පත් නොකර, ලමා වියට හිමි සුන්දර ලමා කාලයක් ගත කිරීමට අවස්ථාව සලසා දීම ඔවුන්ගේ වගකීමයි. මානව සිත් සතන් නිබඳවම කළඹවන කුතුහලය පිරි ලමා මනසකින් අනාගත ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු, ප්ලේටෝ කෙනෙකු හෝ බිල් ගේට්ස් කෙනෙකු බිහි නොවනු ඇතැයි කිව හැක්කේ කාටද? "තරගකාරී සමාජය හමුවේ මෙහෙම නොකර බෑ" කියමින්, දෙමාපියන්ට දුවන්නට ඕනෑ කරන රේස් එක දුවන්නට තම දරුවන්ද තල්ලු කරමින් ඔවුන්ගේ මේ කුතුහලය පිරි සිත් මොට කරන්නේ දෙමාපියන්මය. සුද්දා අපට උරුම කර දී ගිය සුදු කරපටි රස්සා සංකල්පයෙන් මිදෙන්නට දැන් කාලයයි. නැතහොත්, ආණ්ඩුව මොන දහංගැට දැම්මත්, කොපමණ මුදල් වැය කළත්, රට වැසියා මේ සත්‍යය සිය නුවණින් විමසා බලා තම ආකල්ප වෙනස් කර නොගන්නා තාක් කල් අප සැමදාමත් ඉන්නේ මේ ලිං පතුලේමය.
පින්තූරය උපුටා ගැනීම: http://fineartamerica.com/featured/the-frog-and-the-well-denny-bond.html